චීනය විසින් 2013 වර්ශයේදී ආරම්භ කරන ලද නව සේද මාවත නොහොත් belt and road initiative ව්‍යාපෘතිය හරහා දකුණු සහ මධ්‍ය ආසියාවේ, අප්‍රිකාවේ මෙන්ම යුරෝපයේද රටවල් රැසක වරාය, මහාමාර්ග සහ ගුවන්තොටුපළ සංවර්ධනය සදහා වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සමත් විය. චීනය විසින් එම ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ආර්ථික සංවර්ධනය සදහා ඉඅල්ක්ක කරගත් සියලු පාර්ශවයන් සදහා ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති සේ සැලකුවද, එම ව්‍යාපෘති ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව වැනි සමහරක් රටවල් දරුණු දේශපාලන සහ ආර්ථික උගුලකට හසුවී සිටියි. මේ නිසා බීජින් පාලනයේ නීතිරීති වලට අනුව එම රටවල පාලකයින්ට ක්‍රියා කිරීමට සිදුවී තිබේ.

China’s belt and road infrastructure plan

ආර්ථික වශයෙන් පළදායී නොවන අන්ත දූෂිත ව්‍යාපෘති හරහා රටවල් වල ආර්ථික හැකියාව දුර්වල කිරීම සහ ඉන් අනතුරුව චීන ආධිපත්‍ය පැතිරවීම යන කරුණු වලදී චීනයේ belt and road initiative ව්‍යාපෘතිය දැඩි විවේචනයට ලක්ව සිටියි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ යෝජනාවකට අනුව ජී7 රාජ්‍ය නායකයින් විසින් චීනයේ මෙම ආක්‍රමණශිලි ව්‍යාපෘතිවලට එරෙහිව නව වැඩපිළිවෙලක් දියත් කිරීමට එකඟතාවයකට පිවිසී තිබේ. එක්සත් රාජධානියේ සුන්දර වෙරළ තීරයක පැවැත්වෙන මෙවර ජී 7 රාජ්‍ය නායක සමුළුව තුලදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා වී ඇත.

Build Back Better World (B3W) Partnership නමින් හදුන්වන මෙම ව්‍යාපෘතිය හරහා ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියා – ෆැසිපික් කලාප වල රටවලට ඉදිරි වසර කිහිපය තුලදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 40ක තරම් සුවිශාල ධනස්කන්දයක් පොම්ප කිරීම හරහා ඒ රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ජී7 නායකයින් බලාපොරොත්තු වේ.

G7 රාජ්‍ය නායකයින්ගේ වටමේස සාකච්ජාව

එම ව්‍යාපෘති දියත් කිරීමේදී ව්‍යපෘතියේ ඵලදායීතාවය, යහපාලනය සහ ඉහළ ප්‍රමිතිය, පරිසර හිතකාමීභාවය, ශක්තිමත් උපායමාර්ගික සබැඳියාව, පුද්ගලික අංශයේ අරමුදල් සංවර්ධනය සදහා නිසි ලෙස යෙදවීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකෙරෙන බව ධවල මන්දිරය නිකුත් කල විශේෂ නිවේදනයේ දැක්වේ.