ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින ගුරුවරුන් ”කාලකණ්ණි කණ්ඩායමක්” බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර මෙම වර්ජනයට එක්ව සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාගෙන් විමසීමක් කළෙමු.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා ගුරුවරුන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බවය.

“අවුරුදු එක හමාරක් තිස්සේ දරුවන්ට හරියට ඉගැන්වීමට ක්‍රමවේදයක් හදා ගන්න බැරි ආණ්ඩුවක ඇමතිවරයෙක් එයා. මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න අවශ්‍ය ඩේටා හෝ උපකරණ සඳහා කිසි ම දීමනාවක් මෙතෙක් දීලා නැති ආණ්ඩුවක අමාත්‍යවරායෙක් එයා. මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන්නේ අපේ අතින් වියදම් කරගෙන. දෙමාපියන් අනිත් පැත්තෙන් සල්ලි වියදම් කරනවා දරුවන්ට ඉන්ටර්නෙට් දෙන්න. එතකොට දරුවන්ට උගන්වන්න ක්‍රමවේදයක් සකස් කර ගන්න අසමත් වුණු ආණ්ඩුවක ඔය කියන ඇමතිවරයා ද කාලකණ්ණි? අපි ද කාලකණ්ණි කියලා අහන්න කැමතියි,” යනුවෙන් ජෝසෆ් ස්ටාලින් පැවසීය.