අයවැය යෝජනාවලිය සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් රජය මෙතෙක් නිශ්චිත පිළිතුරක් හෝ සාකච්ඡාවක් ලබා දී නොමැති බවට චෝදනා කරමින්, 2026 නොවැම්බර් 30 වැනිදායින් ආරම්භ වන සතිය ‘කළු විරෝධතා සතියක්’ ලෙස නම් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
මහනායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව, මෙරට රැඳී සිටිමින් මහජනතාවට සේවය කරන වෛද්‍යවරුන් 24,000කට අධික පිරිසක් තම සංගමය නියෝජනය කරන බව සඳහන් කළේය.
වෛද්‍යවරුන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථා හතරකදීත්, අග්‍රාමාත්‍යවරියට අවස්ථා දෙකකදීත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට අවස්ථා තුනකදීත් ලිපි නවයක් යොමු කර ඇතත් මෙතෙක් කිසිදු සාකච්ඡා අවස්ථාවක් ලැබී නොමැති බව වෛද්‍ය එපිටකඩුව පැවසීය. පෙර පැවති සෑම රජයක්ම වෘත්තිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව දුන්නද, වත්මන් රජය වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට ඔහු චෝදනා කළේය. අදාළ කරුණු පිළිබඳව මහනායක සහ අනුනායක හිමිවරුන්ද අවධානයෙන් කටයුතු කරන බව සඳහන් කළ බව ඔහු කීය.
මහජනතාව අපහසුතාවට පත් වන වර්ජන ක්‍රියාමාර්ගයකට මෙතෙක් යොමු නොවූ බවත්, සාකච්ඡා සහ සම්මන්ත්රණ මඟින් ගැටලු විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කරන බවත් සභාපතිවරයා පැවසීය. එහෙත් වෛද්‍යවරුන් මහජනතාවට පීඩාවක් ඇති විය හැකි තීරණාත්මක අවස්ථාවකට තල්ලු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු වගකීමක් බවත්, තත්ත්වය ගැන මහජනතාව දැනුවත් කිරීමට නොවැම්බර් 30 සිට කළු විරෝධතා සතිය ක්‍රියාත්මක කරන බවත් විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව වැඩිදුරටත් සඳහන් කළේය.

