කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සද්භාවයෙන් කරන කටයුත්තක් බව තමාට පෙනෙන නමුත් එය බාර දී ඇති පුද්ගලයා පාර්ලිමේන්තුවේ සිටින ලොකුම තක්කඩියකු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේය.

ඔහු මෙසේ පැවසුවේ ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යැයි පැවසූ ෆොන්සේකා මහතා කවුරුන් හෝ හමුදාව විවේචනය කරනවාට තමා විරුද්ධ යැයිද ප්‍රකාශ කළේය.

මහවැලියෙන් පසු මේ රටට ඇඟට දැනෙන දෙයක් කලා නම් එය කළේ යුද්ධය අවසන් කළ හමුදාව යැයිද ඔහු කීවේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිවලට ඉහළ පිළිගැනීමක් හිමිවිය යුතු බවත් එම විශ්වවිද්‍යාලය කඩයක් බවට පත් කිරීම ප්‍රශ්නවලට උත්තරයක් නොවන බව හෙතෙම සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු විය යුතු බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන්ට අපහාස කිරීම තමා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළේය .

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාවැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.