සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද  දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.