වසර 35ක සේවා කාලයක් නිම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (30) විශ්‍රාම ගත්තා.

ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා දිවයිනේ විවිධ ස්ථාන රැසක සේවය කිරීමෙන් අනතුරුව 2013 අගෝස්තු 25 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරුණා.

මෙරට ප්‍රබලතම අපරාධ රැසක විමර්ශන සිදු කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේ ද ශානි අබේසේකර මහතායි.

උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතන සිදුවීම, හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණ අතර වනවා.

වසර 35ක කාලයක් මෙරට පොලිස් සේවාවේ විශිෂ්ට සේවාවක් කළ නිලධාරියෙකු ලෙස ඒ මහතා විශ්‍රාම දිවියට එළැඹෙන්නේ සිය 60 වන උපන්දිනය දා වීම ද විශේෂත්වයක් වනවා.