බැසිල් රාජපක්ෂ විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් ගණනාවක්ම ඊයේ (04) දින විවේචනය කරනු ලැබීය.

මීට පෙර අවස්ථාවකදී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබුණේ වත්මන් ඇමති මණ්ඩලය විහිළු සහගත නම් යොදමින් සකස් කර අපහසුතාවට පත් කළේ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර එකතු වී බවත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත්ය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මෙම ප්‍රකාශයට එරෙහි ප්‍රකාශ සිදු කරනු ලැබීය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ පොහොට්ටු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර යනු අවස්ථා ගණනාවකදී පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් ඔහු තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා අනුන්ට චෝදනා කරමින් සිටින බවය.