කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඊයේ (03) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේ නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික චමීර කොස්වත්ත ඊයේ රාත්‍රියේදී වැලිවේරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. 

වැලිවේරිය පොලිසිය විසින් ඔහුව පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් ඉන් අනතුරුව තලංගම පොලිසියට භාරදී ඇති බවයි ඔහු සඳහන් කළේ. 

එසේම එම උද්ඝෝෂණයට සහභාගී වූ කෝෂිලා හංසමාලි නම් දේශපාලන ක්‍රියාකාරිනියව ද පාදුක්කේ පිහිටි ඇයගේ නිවසේදී ඊයේ රාත්‍රියෙහි අත් අඩංගුවට ගෙන තලංගම පොලිසියට රැගෙනවිත් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි දේශපාලන ක්‍රියාකාරීන්ට විරුද්ධව ආණ්ඩුව දැවැන්ත මර්දනයක් දියත්කර ඇති බවත් ඔහුු සඳහන් කළේය