ආණ්ඩුව අත්තනෝමතික සහ හිතුවක්කාරි ක්‍රියාපිළිවෙත් ඉවත දමා මේ තීරණාත්මක අවස්ථාවේ රට වසා විශේෂඥ උපදෙස් අනුව ජනජීවිත සුරක්ෂිත කිරීමට තීන්දු ගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වනවිටත් අපේ රට ඉතා ම බිහිසුණු වසංගතයකට හසුවී සිටින බවත් දිනෙන් දින වාර්තා වන කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව කනගාටුදායක ලෙස ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුව විසින් නිකුත් කරන සංඛ්‍යා ලේඛනවල පවත්නා පරස්පරතා ඒ බිහිසුණු බව තවත් උග්‍ර කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ආණ්ඩුව මේ පිළිබඳව බුද්ධිමත් ලෙස කටයුතු නොකරන අතර ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙත අනුව ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව සඳහන් කරන එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු විශේෂඥයන් දිගින් දිගට ම මේ තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳව තීරණාත්මක අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර සියලු දෙනා ම පාහේ ඉල්ලා සිටින්නේ වහාම රට වසා දමන ලෙසය. ඉන් මෙපිට මේ ව්‍යසනයෙන් ගැලවීමක් නැති බව සියලු ම විශේෂඥයන්ගේ මතය ය.

කොරෝනා ව්‍යසනයේ උච්චස්ථානයට අපේ රටේ ඉතා වේගයෙන් ළඟා වෙමින් සිටින අතර අපද ඉල්ලා සිටින්නේත් බලකර සිටින්නේත් විශේෂඥ මතය ප්‍රකාරව රට වසා දමන ලෙසය.

එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත කොරෝනා පනත පාර්ලිමේන්තුව තුළ විවාදයකින් හෝ ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමට දායකත්වය ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරමු.

රටෙහි උද්ගතව ඇති බරපතළ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව වගකිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සිය දැඩි අවධානය යොමුකරන අතර මෙරට ජන ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ගතයුතු සියලු ම ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙමු.”