පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29කට අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. මෙම අනතුරු ඇඟවීම නොවැම්බර් 27 වැනිදා පස්වරු 4.00 දක්වා වලංගු වේ.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාළින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස අනතුරු අඟවා තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හතරළියැද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, උඩදුම්බර, දොළුව සහ යටිනුවර කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසත්, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙසත් එම ආයතනය දන්වා ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දෙහිඕවිට සහ රුවන්වැල්ල යන කොට්ඨාසවලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසත්, කෑගල්ල, යටිනුවර, රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන කොට්ඨාසවලට අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙසත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩහින්න, කොත්මලේ බටහිර, නෝර්වුඩ්, අඹගමුව කෝරළේ, තලවාකැලේ සහ වලපනේ යන කොට්ඨාසවලටත් අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත. එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.