සිය රාජකාරි T-56 ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදී ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (26) දිවයිනට රැගෙනවිත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි රාජ්‍යයට ගොස් සැකකරු මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරි කරමින් සිටියදී ඔහු සිය රාජකාරි T-56 ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදී ඇති බව සඳහන් වේ.

අනුරාධපුර, පේමඩුව, හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන යාමට නියමිත බව සඳහන් වේ.