කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසලක අද (19) උදෑසන හටගත් හදිසි ගින්නකින් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 2ක් සහ 6ක් වන කුඩා දරුවන් දෙදෙනකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ වෙළෙඳසල පවත්වාගෙන ගොස් ඇත්තේ දෙමහල් ගොඩනැඟිල්ලක වන අතර, එහි බිම් මහලේ විද්‍යුත් උපකරණ අලෙවිසල පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ. විපතට පත් පවුලේ සාමාජිකයන් එම ගොඩනැඟිල්ලේ උඩුමහලේ පිහිටි නිවසේ නවාතැන්ගෙන ජීවත්ව සිටියදී මෙම ගින්නට හසුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තාවයක් හටගෙන ඇති අතර, ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් සේවා ඒකකයට අයත් ගිනි නිවන රථ කිහිපයක් එම ස්ථානයට කඩිනමින් කැඳවා ක්‍රියාත්මක කර තිබේ.

ගින්න හටගැනීමට නිශ්චිත හේතුව හෝ ඉන් සිදුවූ දේපළ හානිය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.