පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්, තමාගේ සහ සිය බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහෙමින් පවතින බව පවසමින් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. 74 හැවිරිදි හිටපු අගමැතිවරයාගේ නීතිඥ සල්මාන් සෆ්ඩාර් විසින් ප්‍රසිද්ධ කරන ලද විශේෂ ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
තමන් මොළයේ රුධිර වහනයක් සහ හෘදයාබාධයකට ලක්වීමේ දැඩි අවදානමක සිටින බවත්, තම හදවතට දැනටමත් හානි සිදුව ඇති බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ඉම්රාන් ඛාන් එම ලිපියෙහි සඳහන් කර තිබේ. එමෙන්ම, පසුගිය අප්‍රේල් මාසයේදී දෘෂ්ටි විතානය ගැලවී යාමකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය වූ සිය බිරිඳ බුෂ්රා බිබීට තවදුරටත් අවශ්‍ය ශල්‍යකර්මය සිදු නොකළහොත් ඇයගේ පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇතැයි තමා දැඩි බියකින් පසුවන බවද ඔහු පෙන්වා දී ඇත. දිනකට පැය 22ක් දක්වා තමාව හුදෙකලා සිරගත කිරීමකට ලක් කර ඇති බවටද ඔහු එහිදී චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, පාකිස්තාන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය තාරික් ෆසාල් චෞධරි මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ බන්ධනාගාරය තුළ ඉම්රාන් ඛාන් වෙත අවශ්‍ය සියලු පහසුකම් අඛණ්ඩව සපයා ඇති බවයි. සතිපතා වෛද්‍ය පරීක්ෂාවන් සිදු කෙරෙන බවත්, මීට සතියකට පෙර විශේෂ එන්නතක් ලබා දීමට රජයේ රෝහලකට ගෙන ගිය අවස්ථාවේදී ඔහු සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවත් බන්ධනාගාර බලධාරීහු ප්‍රකාශ කරති.

