ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති අමතර පිරිවැය පියවා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කරයි.

මෙම මිල සංශෝධනය හරහා සමාගම කිසිදු අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, එය පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් ගණනය කර සකස් කළ මිලක් බවත් ඔහු දැඩි ලෙස අවධාරණය කර තිබේ.

සෑම මාසයකම ආරම්භයේදී සෞදි අරාම්කෝ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ගෑස් සිලින්ඩරයක මිල තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් බලපාන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම වසරේ ආරම්භයේ සිට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම නිසා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක පිරිවැයක් එකතු වී තිබේ. ඊට අමතරව ප්‍රවාහන නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් සිලින්ඩරයකට රුපියල් 417ක පිරිවැයක් ද, විනිමය අනුපාතවල සිදුවූ වෙනස්වීම් නිසා රුපියල් 299ක පිරිවැයක් ද දැරීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම පිරිවැය වැඩිවීම්වලට අමතරව සියයට 18ක වැට් බද්දෙන් රුපියල් 256ක් සහ බැංකු ණය හා ණයවර ලිපි (LC) හරහා ගෑස් මිලදී ගැනීමේ මූල්‍ය පිරිවැය ලෙස රුපියල් 90ක් එකතු වී තිබේ.

ඒ අනුව සියලු පිරිවැය එකතු කළ විට රුපියල් 1,769ක වැඩිවීමක් සිදු කළ යුතු වුවද, සමාගම විසින් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට සහ මූල්‍ය ආයතනවලට වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමට නොහැකි බව පෙන්වා දෙන ප්‍රධාන විධායක නිලධාරීවරයා, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම පියවර නොගත් බවද වැඩිදුරටත් කියා සිටියේය.