නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස එහි පළමු නිල අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

චීනයේ Yi Hang සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන eVTOL වර්ගයේ මගී ඩ්‍රෝන යානා මෙම අත්හදා බැලීම සඳහා යොදා ගැනීමට නියමිතය.

ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස්ව ගුවන්ගත වීමට සහ ගොඩබැසීමට හැකි මෙම යානා මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ හදිසි සේවා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.