ගෑස් තොග සඟවා තැබීම, අලෙවිය සීමා කිරීම හෝ නියමිත මිල ඉක්මවා මුදල් අයකිරීම සිදුකරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන නියෝජිතයන්ගේ අලෙවි නියෝජිතභාවය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද අවශ්‍ය පියවර ගත හැකි බවයි. ගෑස් තොග සඟවා තැබීමෙන් සහ පාරිභෝගිකයන්ට අලෙවි කරන ප්‍රමාණය සීමා කිරීමෙන් වළකින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනටමත් උපදෙස් නිකුත් කර තිබේ.
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ගෑස් අලෙවි කිරීම සහ අවසර නොලත් අමතර ගාස්තු අයකිරීම ද තහනම් බව සමාගම අවධාරණය කර සිටී. පාරිභෝගිකයන්ට අනුමත මිලට අඛණ්ඩව ගෑස් ලබාගැනීමේ අයිතිය සහතික කිරීම සඳහා මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් දිවයින පුරා පාරිභෝගිකයින් මුහුණ දෙන ගෑස් හිඟය සහ අධික මිලට අලෙවි කිරීමේ ගැටළුව පාලනය කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.





