පාසල් ඩෙංගු උවදුර මැඬලීමේ දිනය ලෙස ජූලි 09 වන දා ප්‍රකාශයට පත් කරමින් 
“ක්ලීන් ශ්‍රී ලංකා” දායකත්වයෙන් විශේෂ වැඩසටහනක්

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ 
අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් 
අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් 
කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු 
පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය 
අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන 
අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම 
ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ 
පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.

එමෙන්ම, මීට සමගාමිව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් 
ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන 
ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට 
සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ 
හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් 
කාර්යාල සහ  ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා 
කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද 
ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක 
කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර 
අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, 
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා 
ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.