සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.5කින් හෙවත් අමෙරිකානු ඩොලර් 3.21කින් ඉහළ ගොස් ඩොලර් 94.61ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල සියයට 2කින් හෙවත් ඩොලර් 1.63කින් ඉහළ ගොස් ඩොලර් 83.68ක් වූ බවද වාර්තා වේ. නොවැම්බර් 24 වැනිදා අඟහරුවාදාද මෙම බොරතෙල් වර්ග දෙකෙහිම මිල සියයට 2කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබිණි.

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ සෞදි අරාබියේ රාස් තනුරා තෙල් පිරිපහදුවට සහ රියාද්හි මූල්‍ය කලාපයට ප්‍රහාර එල්ල කළ බවය. සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන රාස් තනුරා ප්‍රධාන බොරතෙල් අපනයන පර්යන්තයක්ද වේ. මේ හේතුවෙන් මැදපෙරදිග බොරතෙල් සැපයුමට බාධා ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර නොවැම්බර් 20 වැනිදායින් අවසන් වූ සතියේ අමෙරිකාවේ බොරතෙල් සංචිත බැරල් මිලියන 1.1කින් ඉහළ ගොස් බැරල් මිලියන 418.9ක් වුවද, එය විශ්ලේෂකයන් අපේක්ෂා කළ බැරල් මිලියන 1.5ක වර්ධනයට වඩා පහළ අගයක පැවතීමද මිල ඉහළ යෑමට බලපා තිබේ.

එසේම 2027 වසරේ බොරතෙල් නිෂ්පාදන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඔපෙක් ප්ලස් (OPEC+) අමාත්‍යවරුන්ගේ රැස්වීම් මාලාවක් නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉරාකය සහ කසකස්ථානය නිෂ්පාදන ධාරිතා ඇස්තමේන්තු ඉහළ නංවන ලෙස ඔපෙක් ප්ලස් සංවිධානයට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වන අතර, ලබන වසරේ නිෂ්පාදන කෝටා තීරණ කෙරෙහි ජාත්‍යන්තර වෙළෙඳපොළේ අවධානය යොමුව ඇත.