චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ ගුවැන්ඩොං (Guangdong) පළාතේ ෂෙන්සෙන් (Shenzhen) නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේදී ආරම්භ වී තිබේ. සමුළුව අමතමින් ෂී ජින්පිං සඳහන් කර ඇත්තේ දශක තුනකට පෙර APEC සංවිධානය පිහිටුවීමත් සමඟ ආසියා-පැසිෆික් කලාපය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ආරම්භ වූ බවයි.

පසුගිය වසර 30ක කාලය තුළ ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථිකය වේගවත්ව වර්ධනය වී ඇති බව පැවසූ චීන ජනාධිපතිවරයා, APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය පළ කිරීම සඳහා චීනය අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයන බවද සඳහන් කර තිබේ. එමෙන්ම ප්‍රතිපත්ති අධ්‍යයනය සහ හුවමාරුව සඳහා ෂෙන්සෙන් නගරයේ ආසියා-පැසිෆික් ප්‍රජාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට චීනය අපේක්ෂා කරන බව වාර්තා වේ.

ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්තිය සහ සුළු හා මධ්‍යම ව්‍යවසාය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතා ආයතන පිහිටුවීම මඟින් කලාපයේ නවෝත්පාදනය සහ පරිසර හිතකාමී වර්ධනය ඉදිරියට ගෙන යාමට චීනය ක්‍රියා කරන බවද ෂී ජින්පිං වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.