රටවල් සහ භූමි ප්‍රදේශ 201ක දත්ත ඇසුරින් 2020 සිට 2070 දක්වා ගෝලීය ආගමික ජනගහන ප්රවණතා විශ්ලේෂණය කළ Pew Research Center ආයතනයේ නව අධ්‍යයනයකට අනුව, 2035 වන විට මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි ජනතාව අභිබවා ලොව විශාලතම ආගමික කණ්ඩායම බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 2020 වසරේදී බිලියන 2.02ක් හෙවත් ලෝක ජනගහනයෙන් 26%ක් වූ මුස්ලිම් ජනගහනය 2070 වන විට බිලියන 3.64ක් හෙවත් 36%ක් දක්වා ඉහළ යනු ඇතැයි එම වාර්තාව ඇස්තමේන්තු කරයි.
දකුණු ආසියාවේ ජනවිකාස වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තාව පෙන්වා දෙන්නේ, 2070 වන විට පකිස්ථානයේ මුස්ලිම් ජනගහනය මිලියන 461ක් දක්වා ඉහළ ගොස් ඉන්දුනීසියාව අභිබවා ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සහිත රට බවට පත්වනු ඇති බවය. එම කාලය වන විට මිලියන 334ක මුස්ලිම් ජනගහනයක් සමඟ ඉන්දියාව දෙවැනි ස්ථානයටත්, මිලියන 218ක් සමඟ බංග්ලාදේශය ඉදිරියටත් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාවේ ජනගහනයෙන් 2020දී 79%ක් වූ හින්දු ප්‍රතිශතය 2070 වන විට 76% දක්වා වෙනස් වුවද, හින්දු ජනගහනය මිලියන 176කින් වර්ධනය වී ඉන්දියාව සහ නේපාලය හින්දු බහුතර රටවල් ලෙස පවතිනු ඇති අතර, ඉන්දියාවේ මුස්ලිම් ප්‍රතිශතය 15% සිට 20% දක්වා ඉහළ යනු ඇතැයි සඳහන් වේ.
ක්‍රිස්තියානි ආගමේ ජනගහන කේන්ද්‍රය උපසහරානු අප්‍රිකාව දෙසට මාරු වෙමින් පවතින බවද අධ්‍යයනය පෙන්වා දෙයි. 2070 වන විට ලෝක ක්‍රිස්තියානි ජනගහනයෙන් අඩකට වඩා එම කලාපයේ වාසය කරනු ඇතැයිද, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය එක්සත් ජනපදය අභිබවා යනු ඇතැයිද, 2065 වන විට එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි බහුතරය අහිමි වනු ඇතැයිද පුරෝකථනය කර ඇත. එමෙන්ම 2070 වන විට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ දකුණු කොරියාවේ කිසිදු ආගමකට අයත් නොවන පිරිස බහුතරය බවට පත්විය හැකි බවත්, චීනය, ජපානය සහ දකුණු කොරියාවේ බෞද්ධ ජනගහනය අඩකටත් වඩා අඩු වනු ඇති බවත් වාර්තාවේ දැක්වේ.
මෙම ඇස්තමේන්තු වත්මන් දරු උපත් අනුපාත, වයස් ව්‍යුහය, සංක්‍රමණ සහ ආගමික විශ්වාස වෙනස් කිරීමේ ප්රවණතා මත පදනම් වූ ජනවිකාස පුරෝකථන මිස අනාගතයේ සිදු විය හැකි යුද්ධ, වසංගත හෝ ආර්ථික-සමාජයීය වෙනස්කම් සැලකිල්ලට ගෙන සකස් කළ නිශ්චිත අනාවැකි නොවන බව Pew ආයතනය අවධාරණය කරයි.



