වසර 20ක සිර දඬුවමකට ලක්ව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ, කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදී ගනිමින් ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළේ යන චෝදනාව මත ගොනුකර තිබූ නඩුවකදී, වැරදිකරු ලෙස නිකුත් කළ තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් ගොනු කරන ලද මෙම අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී ඇත.
අල්ලස් කොමිසම විසින් ගොනු කළ ඉහත චෝදනාවලට වරදකරු කරමින්, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා දඩ මුදල් නියම කළ බවත්, එම විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම නඩු තීන්දුව ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම, විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කරුණු නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නැති බවත්, තමන්ට පැනවූ එම දඬුවම නීතියට පටහැනි බවත් ඔහු අභියාචනයේදී සඳහන් කරයි.
ඒ අනුව, එම තීන්දුව බල රහිත කරමින් සියලු චෝදනාවලින් නිදොස් කොට තමන්ව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු ඉල්ලා සිටී.
