ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය (State Minister of Agriculture, Forestry and Fisheries) නෙමොටෝ යුකිනෝරි (Hon. NEMOTO Yukinori) මහතා අතර ප්‍රතිපත්තිමය මට්ටමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ටෝකියෝ නුවර පිහිටි ජපාන ධීවර අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ධීවර, ජලජීවී වගා සහ සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අගය එකතු කිරීමේ දාමය (Seafood Value Chain) ප්‍රවර්ධනය කිරීම සහ ජපානයෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, ජපාන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ධීවර පීඨ (Fisheries Faculties) සහ තාක්ෂණික පීඨවලින් පිටවන උපාධිධාරී තරුණ තරුණියන්ට ජපානයේ ධීවර තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදාකර දීමට ජපාන රජය එකඟතාව පළ කිරීමයි. මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ අංශ සහ තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම මෙහිදී තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ගෝලීය ප්‍රමිතීන්ට අනුව දියුණු කිරීමට ජපාන රජය ලබාදෙන මෙම සහාය මෙරට ආර්ථිකයට සුවිශාල ශක්තියක් වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.