විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබෙනවා.

ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් හනීෆ් යුසුෆ් සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක්වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින්, රජයේ ආර්ථික පුර්නර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදු කර තිබෙනවා.

ඒ අනුව, ජාත්‍යන්තර ආයෝජකයින් සහ උපායමාර්ගික හවුල්කරුවන් සමග ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOl), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම් වේ.

හනීෆ් යුසුෆ් මේ වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය දරන අතර, ඊට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරනු ඇත.