විදේශ රැකියාවලදී බරපතළ දුෂ්කරතාවලට මුහුණදෙන ලියාපදිංචි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රාජ්‍ය වියදමින් නීතිඥ සහාය සහ ආපසු මෙරටට පැමිණීමේ පහසුකම් ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් යෝජනා කර තිබේ.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට නව වගන්තියක් එක්කිරීම හරහා මෙම පහසුකම් සැලසීම රජයේ නීතිමය වගකීමක් බවට පත්කිරීම එහි අරමුණයි. යෝජිත කෙටුම්පත ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දී ඇත.

අදාළ රටේ නීති වෘත්තියේ නිරත වීමට සුදුසුකම් ඇති නීතිඥයන්ගේ සේවය ලබාදීම, නීතිමය වියදම් දැරීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සාමාන්‍ය පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සැපයීම යෝජනාවලට ඇතුළත්ය. අතරමැදි ගමනාගමන පහසුකම් සහ අවශ්‍ය හදිසි වෛද්‍ය අනුමැති ලබාගැනීමද එහි සඳහන් වේ.

ගිවිසුම්ගත වැටුප් අඛණ්ඩව මාස තුනක් නොලැබීම, ලේඛනගත ශාරීරික, මානසික හෝ ලිංගික අතවර සහ සේවා ගිවිසුම් නියමිත කාලයට පෙර හෝ නීතිවිරෝධීව අවසන් කිරීම සහාය සඳහා සලකා බැලීමට යෝජිත තත්ත්වයන් අතර වේ. යුද ගැටුම්, දැඩි දේශපාලන නොසන්සුන්තාව සහ ස්වාභාවික ආපදාවලට මුහුණදෙන ශ්‍රමිකයන්ද ඊට ඇතුළත්ය.

විදේශගත වීමට පෙර ලබාදෙන පුහුණුවට ගමනාන්ත රටේ සංස්කෘතික පසුබිම, සයිබර් නීති සහ සමාජ මාධ්‍ය භාවිතයට අදාළ නීති පිළිබඳ දැනුවත් කිරීම ඇතුළත් කිරීමටද යෝජනා කර තිබේ.

සහාය ඉල්ලා කරන අයදුම්පත් සලකා බැලීමට කමිටුවක් පත්කිරීම සහ අදාළ ක්‍රියාපටිපාටි සඳහා රෙගුලාසි සකස් කිරීමට අමාත්‍යවරයාට බලය පැවරීමද කෙටුම්පතේ යෝජනා අතර වේ.