2026 වසර සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (24) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී තේ, පොල්, රබර් ඇතුළු වැවිලි ක්ෂේත්‍රයට අදාළ සංවර්ධන ව්‍යාපෘති, වතු ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස සහ යටිතල පහසුකම් වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

රාජ්‍ය වැවිලි සමාගම් පසුගිය වසරට සාපේක්ෂව ලාභය ඉහළ නංවා ඇති බවද මෙහිදී අනාවරණය වූ අතර, මලෛයගම් ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම තේ ගම්මාන 500 ව්‍යාපෘතිය සහ “ප්‍රජාශක්ති” වැනි වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම, වැවිලි ආයතන ඒකාබද්ධ කිරීම සහ නැවත වගා කිරීමේ කටයුතු වේගවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

විදෙස්ගත ශ්‍රමිකයන් යළි මෙරටට පැමිණීමෙන් පසු ඔවුන්ගේ ආයෝජන සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.