ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) ස්ථාපිත කළ මෙරට පළමු විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව වන විද්‍යුත් සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 23 වැනිදා විවෘත කර තිබේ.

මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 161.5ක් වැය කර ඇති අතර, ඒ සඳහා රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 118ක් සහ NERDC ආයතනයේ අරමුදල්වලින් රුපියල් මිලියන 43.5ක් ආයෝජනය කර ඇත.

බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණික පහසුකම් මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. විවිධ පාරිසරික තත්ත්ව යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය ඇගයීමට සහ විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ පරීක්ෂා කිරීමටද එහි පහසුකම් සලසා ඇත. ඒ මඟින් දේශීය බැටරි නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට, පර්යේෂකයන්ට සහ තාක්ෂණ සංවර්ධකයන්ට අවශ්‍ය පරීක්ෂණ සේවා මෙරට තුළදීම ලබා ගැනීමට හැකි වනු ඇත.

විදේශීය තාක්ෂණය ආනයනය කිරීමට පමණක් සීමා නොවී එම තාක්ෂණයන් පරීක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට සහ මෙරටට ගැළපෙන තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් රට තුළම ගොඩනැඟීම රජයේ අරමුණ බව අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සඳහා නවීන බැටරි තාක්ෂණය අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

එසේම බැටරිවල ආරක්ෂාව සහ පාරිසරික බලපෑම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, භාවිතයෙන් ඉවත් කරන බැටරි නිසි ලෙස කළමනාකරණය කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, NERDC සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඇතුළු නිලධාරීන් සහ දේශීය හා විදේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.