ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා නෙදර්ලන්තයෙන් පොලිස් නිල සුනඛයන් 40 දෙනකු මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ. එම සුනඛයන් කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

නෙදර්ලන්තයෙන් ගෙන්වන මෙම සුනඛයන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමෙන් අනතුරුව අදාළ පුහුණු කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බව සඳහන් වේ. මත්ද්‍රව්‍ය සොයා ගැනීම, පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම, අපරාධ විමර්ශන සහ අපරාධකරුවන් සොයා ගැනීම ඇතුළු පොලිස් විමර්ශන කටයුතු සඳහා ඔවුන් පුහුණු කිරීමට නියමිතය.

1948 වසරේදී ආරම්භ කළ මෙරට පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ කටයුතු නවීකරණය කිරීමේ පියවරක් ලෙස මෙම සුනඛයන් ගෙන්වීම සිදු කෙරෙන අතර, මෙම නව සුනඛයන් 40 දෙනාගේ පැමිණීමත් සමඟ අපරාධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.