ඉස්ලාම් දහමට නිග්‍රහ වන අයුරින් ප්‍රකාශ සිදුකර ආගමික සහජීවනයට බාධා කිරීමේ වරදට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මඟින් නියම කර තිබූ සිව්වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය විසින් අද දින තහවුරු කර තිබේ.

මහාධිකරණය ලබාදුන් වරදකරු කිරීමේ තීන්දුව සහ සිර දඬුවම බලරහිත කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ඓතිහාසික කූරගල පුදබිම සම්බන්ධයෙන් 2016 මාර්තු මස 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2024 වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය, උන්වහන්සේ අදාළ චෝදනාවලට වරදකරු බවට තීන්දු කරමින් බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. අභියාචනාධිකරණය විසින් මහාධිකරණ තීන්දුව නීත්‍යනුකූල බව පෙන්වා දෙමින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.