පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාටද වගකීමක් ඇති බව අමාත්‍ය එම්.කේ.එම්. අස්ලම් මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී මෙන්ම ඊට පෙර සහ පසු කාලසීමාවලද දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරා ඇති බැවින්, එම සිදුවීම සම්බන්ධයෙන් ඔහුටද වගකීමක් පැවරෙන බවයි.
තවද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය රටවල් විසින් පරීක්ෂණ අවසන් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ සහ වින්දිතයන්ට තවමත් සාධාරණය ඉටුවී නොමැති බවට එම පාර්ශ්වයන්ම කරන චෝදනා අතර පරස්පරතාවක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම පරීක්ෂණ අවසන් නම් වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතු වගත් සාධාරණය ඉටුවී නොමැති නම් එයින් පැහැදිලි වන්නේ විමර්ශන තවදුරටත් සිදුවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අස්ලම් මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන ඉදිරියට යාමේදී දයාසිරි ජයසේකර මහතාටද බලපෑම් එල්ල විය හැකි බව ප්‍රකාශ කළ අතර, හෙට්ටිපොළ සිද්ධිය ඇතුළු කරුණු පිළිබඳවද මීට පෙර පාර්ලිමේන්තුව තුළ අවධානය යොමු කර ඇති බව සඳහන් කළේය.





