අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ජනතාවට ලබාදීම රජය සහතික කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ගෝලීය වෙළඳපොළේ ඇතිවන අභියෝගයන් අතරද, ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

ඊයේ (19) ආනයනකරුවන් සහ පිටි නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදී, ඉදිරි මාස තුනකට ප්‍රමාණවත් තිරිඟු පිටි තොග දැනටමත් තිබෙන බවත්, අර්තාපල් සහ ලොකු ලූනු මිල ස්ථාවරව පවතින බවත්, සහල් තොගද මාස හතරකට අධික කාලයක් සඳහා ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා පැවසීය.

කීරි සම්බා සහ සම්බා සහල්වල සුළු හිඟය ඉදිරි මාස කිහිපය තුළ විසඳීමට කටයුතු කරන අතර, සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීමටත්, ඉන්ධන සහ ගෑස් සැපයුම තහවුරු කිරීමටත් විශේෂ පියවර ගෙන ඇත.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉරානයෙන් හාල්මැස්සන් ආනයනයට ඇති බාධා හඳුනාගෙන ඇති අතර, ඒ වෙනුවට තායිලන්තය වැනි රටවලින් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගනිමින් ආහාර සුරක්ෂිතතා කමිටුව සහ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ කැබිනට් අනුකමිටුව රැස්වී සැපයුම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට තීරණ ගන්නා බවත්, ජනතාව කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස රජය සියලු පහසුකම් සැපයීමට කැපවී සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.