නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී අද (14) පෙරවරු 11.00ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් සහ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගමන් කරමින් තිබූ තවත් පෞද්ගලික බස් රථයකි.

ගැටුමෙන් බස් රථ දෙකටම හානි සිදුව ඇති අතර, එම රථ දෙකෙහිම ගමන් ගත් මගීන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, රෝහල්ගත කළ කිසිදු තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය තහවුරු කර ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේදී තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් වෙත යොමු කිරීම සඳහා 1990 සුවසැරිය ගිලන් රථ සේවය මෙන්ම අවට වතු කම්කරුවන් ද එක්ව සිය සහාය ලබා දී තිබේ.

බස් රථ දෙකෙහි රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇතැයි නානුඔය පොලිසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.