නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක පාසල් දැරියක් රඳවා තබා ගැනීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වීරත්වයට නංවමින් රොමැන්ටිකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, එය අතිශය බරපතළ ළමා අපයෝජන අපරාධයක් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා ඥාතීන් වන අතර, ඔවුන් මාමා සහ බෑණා බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අධිකරණයට ඉදිරිපත් කර ඇති බී 1571/2026 සහ බී 2292/2026 යන නඩු වාර්තාවන්ට අනුව, නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් වාර්තා පෙන්වා දෙන ආකාරයට, 2023 වසරේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ආරම්භ වූ මෙම අපයෝජනයන්, 2026 ජූලි මාසයේදී දැරිය නිවසින් රැගෙන යන තෙක් සහ 2026 අගෝස්තු මාසයේදී ඇය දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුවද පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම අඛණ්ඩව සිදුව ඇත.

මෙවැනි බරපතළ අපරාධ සමාජ මාධ්‍ය හරහා සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම සමාජයේ පවතින සදාචාරාත්මක පිරිහීමක් පෙන්නුම් කරන්නක් බව වාර්තා වේ.