ඉහළ බලශක්ති පිරිවැය හමුවේ පවුල්වලට සහන සැලසීම, ආයෝජන සඳහා ඉඩ වෙන් කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම 2027 අයවැයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග බව රොයිටර්ස් පුවත් සේවය නොවැම්බර් 6 වැනිදා පළ කළ විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානී එවන් පැපජෝර්ජියු රොයිටර්ස් වෙත පවසා ඇත්තේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා මුදල් වෙන් කරන අතරම රාජ්‍ය මූල්‍ය හා ණය තිරසාරභාවය රැකගැනීමට අයවැයට හැකිද යන්න මෙවර ප්‍රධාන ප්‍රශ්නය බවයි.

ලෝක බැංකුවේ ඔක්තෝබර් ඇගයීම අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2026 මුල් අර්ධයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබේ. එහෙත් 2025 දරිද්‍රතා අනුපාතය සියයට 16.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය අර්බුදයට පෙර මට්ටමට වඩා ඉහළ අගයකි. ඉදිරි වර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ වැදගත්කම ලෝක බැංකුව අවධාරණය කරයි.