ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ මෙම වසරේදී නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් – 2026 ජාතික නිවාස වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම වැඩසටහන අමාත්‍යංශ 06ක් යටතේ ක්‍රියාත්මක වන අතර ප්‍රධාන වගකීම නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍යංශය භාරගනී. එහිදී නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත අතර අඩු ආදායම්ලාභී පවුල් 25,000කට සෘජු ආධාර යටතේ නිවාස ලබාදීම හා රුපියල් මිලියන 10,000ක ආධාර පවුල් 10,000කට ලබාදීමටද සැලසුම් කර ඇති බව එතුමා සඳහන් කරන ලදී.

‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ එක් පවුලකට රුපියල් මිලියනයක නැවත අයකර නොගන්නා ආධාර ලබාදීමට නියමිත අතර, 2026 පෙබරවාරි 25 දින දිස්ත්‍රික්ක 13ක පවුල් 1500කට රුපියල් මිලියන 1500ක චෙක්පත් බෙදාදීම ආරම්භ වේ.

මෙම වැඩසටහනේ අරමුණ වනුයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.