2025 පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ආසනයේ, කැලණිය ප්‍රාදේශීය සභාව සහ පෑලියගොඩ නගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් දිවුරුම් දීම අද එනම් 02.06.2025 දින පෙරවරුවේ කැලණිය ප්‍රාදේශී සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය සභා ලේකම්තුමියද එක්ව සිටියා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නීතීඥ සඳුන් යාපා මහතා හා උප සභාපතිනිය ලෙස ලක්ෂිකා සුභාෂිණි මහත්මියද දිවුරුම් දෙන ලදි. මෙම අවස්තාවේ උත්සව සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කලේ ජනතා නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා තේරීපත්වූ සියළු දෙනාට ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා විශාල වගකීමක් පවතින බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා සියළුදෙනා කැපවීමෙන් වැඩ කළ යුතු බවත්, කිසිවිටෙකත් ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ මතයට පරිබාහිරව කටයුතු කිරීමට කිවෙකුට හැකියාවක් නොමැති බවයි. මෙම අවස්ථාවට කැලණිය ආසනයේ ජනතාවද විශාල පිරිසක් එක්ව සිටියා.