2026/2027 මහ කන්නයේදී ඇතිවිය හැකි ප්‍රබල එල් නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා වී වගා කටයුතු ඔක්තෝබර් මාසයට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
අධික වර්ෂාව ලැබෙන නොවැම්බර් මාසය වනවිට ශක්තිමත් ගොයම් පැළ ස්ථාපිත කිරීමටත්, පෙබරවාරි – මාර්තු නියං තත්ත්වයට පෙර අස්වනු නෙළාගැනීමත් මෙහි අරමුණ බව ඔහු පවසා සිටියි.
මෙවර මහ කන්නයේ වී වගා ඉලක්කය හෙක්ටයාර 830,000ක් වන අතර, පළාත් සභා යටතේ හෙක්ටයාර 366,190ක්, අන්තර් පළාත් කලාපවල හෙක්ටයාර 159,941ක් සහ මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ හෙක්ටයාර 94,288ක් වගා කිරීමට නියමිතයි.
වගාව සඳහා මාස තුනහමාරේ වී ප්‍රභේද නිර්දේශ කර තිබෙන අතර ඔක්තෝබර් – නොවැම්බර් ලැබීමට නියමිත ගංවතුරෙන් වගාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මාස දෙකහමාරේ සහ මාස තුනේ කෙටි කාලීන ප්‍රභේද යොදා නැවත වගා කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
අර්ධ හානි සිදුවුවහොත් පැළ නැවත ස්ථාපනය කිරීම සඳහා අමතර තවාන් පවත්වාගෙන යන ලෙසත්, සේදී යන පෝෂක වෙනුවෙන් අවශ්‍ය පොහොර සූදානම් කර තබන ලෙසත් උපදෙස් ලබාදී තිබෙන බව ඔහු කියා සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




