බඩවැල්වල ඇති වූ හදිසි අවහිරවීමක් හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

71 හැවිරිදි බොල්සොනාරෝ උදරයේ වේදනාවක් හේතුවෙන් සිකුරාදා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඔහුට ප්‍රතිකාර ලබාදෙන බ්‍රසීලයේ DF Star රෝහල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහුට දියර සහ පෝෂණ සහාය ලබාදීම ආරම්භ කර ඇති බවයි. එසේම, නාසය හරහා ඇතුළු කළ නලයක් මඟින් ආමාශයේ තිබූ ආහාර අවශේෂ ඉවත් කිරීමට ද වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

බොල්සොනාරෝගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් ඔහු සිහියෙන් පසුවන බවත් රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ඔහු රෝහලෙන් පිටව යා හැකි දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

මේ අතර, සිය පියාගේ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහුගේ පුත්‍රයා වන කාලෝස් බොල්සොනාරෝ පවසා ඇත්තේ පියාගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට සිදු විය හැකි බවට ද ඔහු ඉඟි පළ කර ඇත. එය වසර අටකට අඩු කාලයක් තුළ බොල්සොනාරෝට සිදු කෙරෙන 10 වැනි ශල්‍යකර්මය විය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.