විපක්ෂයේ අදහස් වාරණය කරන බවට චෝදනා කරමින් උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පිහිටි මෙටා (Meta) ආයතනයේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා ආයතනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන බවට චෝදනා කරමින් කොංග්‍රස් පක්ෂයේ තරුණ අංශය මෙම විරෝධතාව සංවිධාන කර තිබූ බව සඳහන් වේ.

විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනකු පසුව නිදහස් කළ බවද වාර්තා වේ.

මේ අතර තමන් ඉන්දියාව තුළ අන්තර්ගතයන් සීමා කරන්නේ දේශීය නීතිරීතිවලට අනුකූලව බව මෙටා ආයතනය පවසන බව වාර්තා වේ.