එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි ඕනෑම හමුදාමය ප්‍රහාරයකට මුහුණ දීම සඳහා කියුබාව පූර්ණ සූදානමින් පසුවන බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ප්‍රකාශ කළ බව ‘ද රියෝ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

හවානා අගනුවර බෝයෙරොස් ප්‍රදේශයේ පැවති ආරක්ෂක සූදානම් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සහ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. ඇමෙරිකානු දේශපාලනඥයන් සහ නිලධාරීන් මෑතකදී සිදු කළ ප්‍රකාශ මඟින් කියුබාවට එරෙහි හමුදා ප්‍රහාරයක් දිරිගන්වන බව පෙන්වා දුන් ඔහු, සාමකාමී කාලසීමාවක වුවද යුද කාලීන ආරක්ෂක ව්‍යුහයන් සහ ආරක්ෂක බලකායන් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය.

කියුබාව කිසිදු රටකට පහර නොදෙන බවත් තර්ජනය නොකරන බවත් අවධාරණය කළ ජනාධිපති ඩියාස්-කැනෙල්, ස්වෛරීභාවයට එරෙහි ඕනෑම විදේශීය හමුදා ආක්‍රමණයක් තරයේ ප්‍රතික්ෂේප කර පරාජය කරන බව කියා සිටියේය.

දශක හයකට වැඩි කාලයක් තිස්සේ කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක වහාම අවසන් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි ඔහු, එම සම්බාධක කියුබානු ජනතාව සාමූහිකව දඬුවම් කිරීමක් බවට චෝදනා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ මෙම සම්බාධකවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද ඔහු සිහිපත් කළේය.

මේ අතර, කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ගැන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති බවට කලාපීය වාර්තාවල තොරතුරු පළ වුවද, ඩියාස්-කැනෙල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වොෂින්ටනයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ‘ද රියෝ ටයිම්ස්’ පුවත්පත පෙන්වා දෙයි.