නොවැම්බර් 30 වැනිදාට සැලසුම් කළ දීපව්‍යාප්ත එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බව ගුරු–විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ අනුව එදින අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීමට සන්ධානය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නොවැම්බර් 25 වැනිදා පැවති සාකච්ඡාවෙන් පසු සන්ධානය මෙම තීරණය දැනුම් දුන්නේය. දිගු කලක් පවතින ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලුවලට 2027 අයවැයෙන් විසඳුම් ලැබී නැති බවත්, සාකච්ඡාවේදීද තම ඉල්ලීම්වලට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

මේ අතර, රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ දැමීමේ වැඩපිළිවෙළේ තුන්වැනි අදියර ගුරුවරුන්ටද අදාළව 2027 ජනවාරියේ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ලබන ජූලි මාසයේදී ලැබීමට නියමිත බවද ඇය එහිදී සඳහන් කළාය.