ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ගැටලුවක් තිබුණද, රට තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ අද (07) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙතෙක් කිසිදු විදුලි කප්පාදුවක් සිදු කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ,විවිධ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් යම් යම් ප්‍රදේශවල විදුලි සැපයුම තාවකාලිකව නවතා දමන අවස්ථා පවතින බවත් එය සාමාන්‍ය තත්ත්වයන් යටතේද සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය.
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය විදුලිය සැපයීමටද විදුලි බල මණ්ඩලය සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව ලබන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට ගෙවීම් සිදු කර අවුරුදු උත්සව සඳහා විදුලිය ලබා ගැනීමට හැකියාව ඇත.





