ලෝක බෞද්ධ ප්‍රජාවේ සාමයේ පියසටහන්

වර්තමාන ලෝකය පසුවන්නේ අතිශය තීරණාත්මක කඩඉමකය. මැද පෙරදිග අහස මිසයිල ආලෝක‍යෙන් ඒකාලෝක වෙද්දි , ඇමරිකාව , ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් අතර පවතින අර්බුධකාරී තත්ත්වයන් පුළුල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි තර්ජනයක් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි තර්ජනයක් ලෝකය හමුවේ පවතී.
මෙම ගැටුම් මත අසරණ වන අහිංසක ජීවිත දෙස බලා ලෝකවාසී සැබෑ මනුෂ්‍යයින්ගේ සිත් කම්පාවට පත්වීම ස්වභාවිකය.
ප්‍රචණ්ඩත්වයෙන් උපදින ජයග්‍රහණය යනු තවත් එක් ඛේදවාචකයක් පමණි. සැබෑ ඛේදවාචකය යනු වෛරය වෙනුවට මනුෂ්‍යත්වයත් , කෝපය වෙනුවට කරුණාවත් තෝරා ගැනීමයි.
දේශ සීමා වෙනුවට මිනිසුන් අතර පාලම් ගොඩනැගිය යුතු යුගයක , තෙවන ලෝක යුද්ධයක් වළක්වාලීම උදෙසා ලෝක බෞද්ධ ප්‍රජාව ( world buddhist community ) පසුගිය දෙවසර පුරාවටම ඉටුකරමින් සිටින්නේ සුවිශේෂී අධ්‍යාත්මික මෙහෙවරකි.

”ජීවිතය අයිති නසන්නාට නොව , සුරකින්නාටය. ”

ලෝක බෞද්ධ ප්‍රජාවේ මෙම සාම මෙහෙයුමේ මූලික දර්ශනය අපූරුවට පැහැදිලි වන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ ළමා අවධියේ සිදු වූ එක්තරා සංවේදී සිදුවීමකිනි.
දිනක් දේවදත්ත කුමරු විසින් විදින ලද ඊතල පහරකින් තුවාල ලබා බීමට වැටුණු අහිංසක හංසයෙකු , සිද්ධාර්ථ කුමාරයා විසින් සියතට ගෙන , උගේ තුවාලවලට බෙහෙත් ගල්වා ආදරයෙන් සුවපත් කරන ලදී. පසුව හංසයාගේ අයිතිය පිළිබදව දෙදෙනාඅතර ඇති වූ මතභේදයේදී පැනනැගුණු තීන්දුව වූයේ , ”ජීවිතයක අයිතිය හා වටිනාකම ඇත්තේ එය නසන්නාට නොව, එය සුරකින්නාට” බවයි.

අද දවසේ ලෝකයට අවශ්‍ය වී ඇත්තේ ද එම පණිවිඩයයි. ආයුධ බලයෙන් ජීවිත විනාශ කරනවාට වඩා, මෛත්‍රියෙන් හා කරුණාවෙන් මිනිස් ජීවිත් සුරැකීම උත්තරීතර බව ලෝක බෞද්ධ ප්‍රජාව මුළු ලෝකයටම පෙන්වා දෙයි.

ආරම්භක පියවර – බුද්ධ ගයාවෙන් නැගුණු සාමයේ හඩ.

මෙම මහා අධ්‍යාත්මික මෙහෙයුමේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ මීට දෙවසරකට පෙරය. ලෝකය තුළ ‍යළි හිස ඔසවමින් පවතින යුධ මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී විශේෂ පිරිත් පිංකමක් සංවිධනය කෙරිණි.

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල් නියෝජනය කරමින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සියයකට අධික පිරිසක් මෙන්ම , ගිහි පිරිස් සහ පාසල් දරුවන් රැසක්ද මීට එක්වූහ. එහිදී ඔවුන් එකමුතුව පිරිත් සජ්ජායනා කරමින් ලෝක සාමය උදෙසා සද්ධර්මයේ අසීමිත ශක්තිය මුදා හැරියහ.

”අපේ පරම පවිත්‍ර අරමුණ තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමයි. ඒ සදහා බුදුදහමේ ඉගැන්වීම් හා සාමූහික ආධ්‍යාත්මික ක්‍රියාකාරම් ඔස්සේ , යුද්ධයට පදනම් වන අකුසල සිතිවිලි වෙනුවට සාමය සහ සහජීවනය වර්ධනය කරන කුසල සිතිවිලි ජනිත කළ යුතුයි.”හීරියමුල්ලේ බුද්ධික ප්‍රසන්න මහතා ( සභාපති , ලෝක බෞද්ධ ප්‍රජාව ) එදින සිදු කළ ප්‍රකාශය.

මෙම උතුම් නායකත්වය ලබා දෙන හීරියමුල්ලේ බුද්ධික ප්‍රසන්න මහතා දූරදර්ශි නායකයෙකි. වසර 25කට අධික කාලයක් පුරා ආයතනික්ස උපදේශන මූල්‍ය කළමනාකරනය සහ විධායක පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ අත්දැකීම් ඇති ඔහු , සමාජ සාධාරණත්වය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කරයි. සැබෑ ප්‍රගතිය ළගා කරගත හැක්කේ සියලු දෙනාට සමානව සලකන, කරුණාවෙන් සලකන , කරුණාවෙන් පිරි සමාජයක් තුළින් බව ඔහු දැඩිව විශ්වාස කරයි. ඔහුගේ මෙම උතුම් මානුෂිය ගුණාංග , ගෝලීය සමගිය ගොඩනැගීමේ ලෝක ප්‍රජාවේ මෙහෙවර සමග මැනවින් බද්ධ වී ඇත.

”සැබෑ නායකත්වය රදා පවතින්නේ ජනතාවට සවන් දීම, ඔවුන්ගේ අභියෝග අවබෝධ කර ගැනීමා සහ තිරසාර විසදුම් සෙවීම සදහා සාමුහිකව කටයුතු කිරීම තුළයි.” යන්න ඔහුගේ නායකත්ව දර්ශනයයි.

අඛණ්ඩ මෙහෙයුම – දේශ දේශාන්තර පුරා පැතිරෙන සෙත් පිරිත.

බුද්ධගයාවෙන් ඇරඹි මෙම උතුම් කටයුත්ත එතැනින් නතර වූයේ නැත. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ලෝකවාසීන්ගේ හදවත් තුළ මෙත්තා , කරුණා , මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ වගා කිරීම උදෙසා අඛණ්ඩ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය.


පුජනීය ස්ථාන කේන්ද්‍ර කර ගත් ආශිර්වාද : ශ්‍රී ලංකාවේ අත්පූජනීය රුවන්වැලි මහා සෑරදුන් අබියස , කැළණිය පුදබිම ඇතුළු දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථානවල මෙන්ම , යළි යළිත් ඉන්දියාවේ බුද්ධගයා පුදබිම කේන්ද්‍ර කරගනිමින්ද විශේෂ පිරිත් සජ්ජායනා අසහ ධර්ම වැඩසටහන් අඛණ්ඩව පැවැත්විණි.

විශ්වීය මෛත්‍රිය : මෙම වැඩසටහන් හුදෙක් බෞද්ධයන්ට පමණක් සීමා නොවීය. ලොව පුරා වෙසෙන අන්‍යාගමික ලෝකවාසීන් හටද මෛත්‍රිය පතුරුවමින් , සියලුදෙනාගේ සිත් සුවපත් කිරීම මෙහි මූලික අරමුණ විය.

ලෝක නායකයින් වෙත සාමයේ පණිවිඩය

අධ්‍යාත්මික වැඩසටහන්වලට සමගාමීව ලෝක බෞද්ධ ප්‍රජාව රාජ්‍යාන්ත්‍රික මට්ටමින්ද මැදිහත් විය. ලොක බලවතුන් සහ රාජ්‍ය නායකයින් වෙත විශේෂ ලිපි යවමින් , යුද්ධයේ ඇති නිශ්ඵලභාවයත් , සාමයේ ඇති වටිනාකමත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. හංසයාගේ කතා පුවතින් පැහැදිලි වන ලෙසටම , සැබෑ බලය ඇත්තේ ආයුධ අතට ගැනීමේ නොව, ආයුධ බිම තබා ජීවිත සුරැකීම තෝරා ගැනීමේ බව ලෝක නායකයින්ට දැඩිව අවධාරණය කරන ලදී.

පෙරට යන ගමන

මිනිස් සිත් තුළ ඇතිවන ද්වේශය නම් වූ ගින්න නිවා දැමිය හැක්කේ මෛත්‍රිය නැමැති සිහිල් දිය දහරාවෙන් පමණි. ධර්මයේ අගය ලොවට කියා දෙමින් , තෙවන ලෝක යුද්ධයක් ඇති නොවීම පිණිස ලෝක බෞද්ධ ප්‍රජාව සිදුකරන අප්‍රහත අධ්‍යාත්මික මෙහෙවර , සමස්ත මානව වර්ගයාගෙම පැවැත්ම උදෙසා දල්වන ලද ආලෝකයක් බදුය.