මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින පාලම් සහ දුම්රිය මාර්ගයේ තත්ත්වය හේතුවෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා පාලම් 12ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ, මුහුද ආසන්නයෙන් දුම්රිය මාර්ගය පිහිටා ඇති බැවින් රේල් පීලි මත මළකඩ ඇතිවීම සහ පැරණි පීලි භාවිතය හේතුවෙන් ඇතැම් ස්ථානවල වේග සීමා පැනවීමට සිදුව ඇති බවය.

මේ සඳහා දුම්රිය පීලි ලක්ෂයක් පමණ ඇණවුම් කර ඇති අතර, එම පීලි මෙරටට ලැබී ඇති බවද ඔහු පැවසීය. ඉදිරි වසරක පමණ කාලයක් තුළ පීලි ආශ්‍රිත ප්‍රමාදයන් සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

එමෙන්ම, පාලම් 12ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාලම් කිහිපයක ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවීම සහ කොන්ත්‍රාත් පිරිනැමීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කැලණි පාලම සඳහා රුපියල් මිලියන 1,993ක පමණ ඇස්තමේන්තුගත මුදලක් වැය වන අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට මාස 31ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>