ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ වන විට රුපියල් බිලියන 114කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,773කට අධික තොගයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2,130කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 73කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.