පෘථිවිය ආරක්ෂා කිරීමේ පරීක්ෂණයක් ලෙස 2022 වසරේදී නාසා (NASA) ආයතනය විසින් අභ්‍යවකාශ යානයක් ගැටීමට සැලැස්වූ ‘ඩිමෝෆොස්’ (Dimorphos) ග්‍රහකයේ මතුපිට ක්‍රීඩාංගණයක් තරම් විශාල ආවාටයක් නිර්මාණය වී ඇති බව එහි පළමු සමීප ඡායාරූපවලින් අනාවරණය වී තිබේ. එම ගැටුමෙන් සිදු වූ හානිය පරීක්ෂා කිරීම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් යවන ලද ‘හේරා’ (Hera) අභ්‍යවකාශ යානය එම ස්ථානයට ළඟා වී මෙම ඡායාරූප ලබාගෙන ඇත.

එම ආවාටය ග්‍රහකයේ ප්‍රමාණය තරමටම විශාල බවත්, එය විශ්මයජනක දසුනක් බවත් හේරා විද්‍යා කණ්ඩායමේ ග්‍රහලෝක විද්‍යාඥවරියක වන ආචාර්ය සබීනා රඩුකාන් පවසා ඇත. 2022 වසරේදී පැයට කිලෝමීටර් 22,000ක වේගයෙන් ගමන් කළ නාසා හි ‘ඩාර්ට්’ (DART) යානය මීටර් 150ක් පමණ පළල ඩිමෝෆොස් ග්‍රහකයේ ගැටීමෙන් කිලෝමීටර් 10,000ක් පමණ දිග සුන්බුන් වලාවක් අභ්‍යවකාශයට විසි විය. ඒ හේතුවෙන් මීටර් 730ක් පළල ‘ඩිඩිමොස්’ (Didymos) ග්‍රහකය වටා ඩිමෝෆොස් ගමන් කිරීමට ගත වූ පැය 11යි විනාඩි 55ක කාලය විනාඩි 33කින් අඩු කිරීමට හැකි වූ බව සඳහන් වේ.

ගැටුම නිසා ඩිමෝෆොස් හි එක් පැත්තක් පැතලි වී ආවාටයක් බවට පත්ව ඇති අතර, මීට පෙර චන්ද්‍රයා මෙන් ස්ථාවරව ගමන් කළ ග්‍රහකය දැන් අවිධිමත් ලෙස පෙරළෙමින් ගමන් කරන බව විද්‍යාඥයෝ පවසති. එමෙන්ම ඩිඩිමොස් සහ ඩිමෝෆොස් ග්‍රහක වටා මීටර් 3 සිට 10 දක්වා විශාල පාෂාණ සිය ගණනක් පාවෙමින් තිබෙන බව හේරා යානයේ ඡායාරූපවලින් හෙළි වී ඇති අතර, ඉදිරි මාස හය තුළ සමීපව පරීක්ෂණ පැවැත්වීමේදී එම පාෂාණ හේරා යානයට සහ එහි ඇති කුඩා චන්ද්‍රිකා දෙකට අභියෝගයක් වනු ඇතැයි සඳහන් වේ.

ඩිමෝෆොස් වැනි මධ්‍යම ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවියේ ගැටුණහොත් නගරයක් වුවද විනාශ කිරීමේ හැකියාව පවතින බැවින්, එවැනි අනතුරු කල්තියා හඳුනාගෙන වළක්වා ගැනීමට අවශ්‍ය දත්ත රැස් කිරීම හේරා මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වේ. අනතුරුදායක ග්‍රහක නිරීක්ෂණයට 2027 වසරේදී ‘NEO Surveyor’ දුරේක්ෂය දියත් කිරීමටත්, 2029 අප්‍රේල් 13 වැනිදා පෘථිවියට කිලෝමීටර් 32,000ක් ආසන්නයෙන් ගමන් කරන මීටර් 450ක් දිග ‘ඇපොෆිස්’ (Apophis) ග්‍රහකය සමීපව අධ්‍යයනය කිරීමට ‘Osiris-Apex’ සහ ‘Ramses’ මෙහෙයුම් යැවීමටත් විද්‍යාඥයින් සැලසුම් කර තිබේ.

1. Dimorphos ග්‍රහකයේ විශාල ආවාටය

2026 නොවැම්බර් 25 දින ESA විසින් නිකුත් කළ නව ඡායාරූප. ග්‍රහකයේ එක් පැත්තක් සමතලා වී ඇති ආකාරය සහ ආවාටය




2. Hera යානය ග්‍රහකය සමීපයෙන් නිරීක්ෂණය කරන දර්ශනය



3. Hera යානය ග්‍රහකය වෙත ළඟා වූ දර්ශනය




4. NASA DART යානය ග්‍රහකයට ළඟා වූ අවස්ථාව