මාතර ප්‍රදේශයේ සමූපකාර සමිති කිහිපයක සිදු වූ බව කියන රුපියල් කෝටි 3,000කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනා දෙසැම්බර් 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ නඩුව ඊයේ (20) කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබා දීමෙන් විමර්ශන කටයුතුවලට බාධා එල්ල විය හැකි බව සලකා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මාතර විවිධ සේවා සමූපකාර සමිතිය සහ මාතර රෝහල් සමූපකාර සමිතිය ඇතුළු සමූපකාර සමිති ගණනාවක සිදු වූ බව කියන මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කල්පනී භාග්‍යා ගුණසේකර, සුරංග ලක්මාල් එදිරිසිංහ, ඩනිත් මංජුල විජේතුංග ආරච්චි, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත සහ දුමින්ද සුරංග ගුණසේකර යන පස්දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. වරුණි බෝගහවත්ත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අනෙකුත් සැකකරුවන් සිව්දෙනා මාතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙනවිත් තිබිණි.

සැකකරුවන් සතු වාහන සහ දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම මෙන්ම සමූපකාර සමිතිවල මුදල් යොදාගෙන වාහන සඳහා වාරික ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වේ. මේ වන විට සැකකරුවන් සතුව තිබූ වාහන 12ක් අධිකරණ නියෝග මත තහනම් කර ඇති අතර, එම වාහනවල ප්‍රතිග්‍රාහකයා ලෙස දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කර ඇත. සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.