සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන රාස් තනුරා වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි බොරතෙල් අපනයනය සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන සංකීර්ණයක කොටසක් ලෙස මෙම තෙල් පිරිපහදුව සැලකේ.

භූ-දේශපාලනික අවදානම් ඉහළ යෑම හේතුවෙන් හූති පාර්ශ්වයේ මෙම ප්‍රකාශය තෙල් මිල ඉහළ යෑමට බලපෑ බව තෙල් විශ්ලේෂක ටමාස් වර්ගා පෙන්වා දී තිබේ. එමෙන්ම අමෙරිකාවේ Thanksgiving නිවාඩුවට පෙර වෙළෙඳුන් සිය short positions පියවා අවසන් කිරීමට කටයුතු කරමින් සිටි බවද ඔහු සඳහන් කර ඇත.

සති අන්තය එළැඹෙද්දී පවතින භූ-දේශපාලනික ආතතිය සම්බන්ධයෙන් ආයෝජකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන බව තෙල් වෙළෙඳපොළ විශ්ලේෂක ෆිල් ෆ්ලින් ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙසත්, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙසත් සටහන් වී ඇත.