ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය සහ දේශීය මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ දක්වා ඉහළ නැංවීමට 2026 නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ නිවේදනයකින් S&P Global Ratings ආයතනය පියවර ගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බවද එම ආයතනය නිවේදනය කර ඇත.

නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ මෙම නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම්ද ‘C’ මට්ටමේ සිට ‘B’ දක්වා ඉහළ නංවා තිබේ.

රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් තිබියදීත් විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යෑම මෙම තීරණයට බලපෑ ප්‍රධාන සාධක අතර වන බව S&P Global Ratings පෙන්වා දෙයි. එසේම ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වන අතර, ණය සේවාකරණය සම්බන්ධයෙන් රජයට පවතින අවදානම් සැලකිය යුතු ලෙස අඩු වන බවද එම ආයතනය සඳහන් කරයි.

ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බාධා පැවතියද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දෙන මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවත්වාගෙන යන බව එම ආයතනය කියා සිටී.

රජයේ මූල්‍ය සහ විදේශීය තත්ත්වයන් සැලකිය යුතු ලෙස දුර්වල වී මූල්‍යකරණ සහ ද්‍රවශීලතා පීඩනයන් යළි මතු වුවහොත් ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදු විය හැකි බව S&P Global Ratings අනතුරු අඟවයි. ඊට ප්‍රතිවිරුද්ධව, රජයේ ආදායමට සාපේක්ෂව පොලී වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම, විදේශ ණය තත්ත්වය තවදුරටත් ශක්තිමත් වීම සහ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ ශුද්ධ ණය වැඩිවීම 3%ක පමණ මට්ටමේ පවත්වා ගැනීම වැනි කරුණු මත ඉදිරියේදී ශ්‍රේණිගත කිරීම තවදුරටත් ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය සඳහන් කර තිබේ.