විජයබා කොල්ලය කියන්නේ මොකක්ද?
විජයබා කොල්ලය යනු 1521දී කෝට්ටේ රජ කළ විජයබාහු රජුට එරෙහිව රජ පවුලේ කුමාරවරුන් තිදෙනකු නැඟී සිටීමෙන් ඇති වූ බල පෙරළියයි. රජුගෙන් පසු සිහසුන හිමිවන්නේ කාටද යන ආරවුලෙන් ඇරඹුණු එය අවසන් වූයේ රජු ඝාතනය වීමෙන් සහ කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම හා සීතාවක යන පාලන කොටස් තුනකට බෙදීමෙනි. එම බල පෙරළිය අතරතුර රජ මැදුර කොල්ලකෑ බවද වංශකතා විස්තරවල සඳහන් වේ.
සිහසුනට අලුත් උරුමක්කාරයෙක්
කෝට්ටේ විජයබාහු රජුගේ රාජ සභාවට සම්බන්ධ ප්‍රධාන කුමාරවරු තිදෙනා වූයේ බුවනෙකබාහු, පරරාජසිංහ සහ මායාදුන්නේය. පරරාජසිංහ පසුව ප්‍රකට වූයේ රයිගම් බණ්ඩාර යන නමිනි. ආරවුල මතු වූයේ මේ කුමාරවරුන් තිදෙනාගෙන් කෙනකු වෙනුවට, රජුගේ දෙවැනි බිසවගේ පවුලට සම්බන්ධ දේවරාජසිංහ කුමරු සිහසුනේ උරුමක්කාරයා කිරීමට සැලසුමක් තිබූ බව ඔවුන්ට ආරංචි වීමත් සමඟය.
ඒ කාලයේ උඩරට ජයවීර බණ්ඩාර රජු සිය බලය පවත්වාගෙන ගිය අතර, පෘතුගීසීහු කොළඹ බලකොටුවක් ඉදිකරගෙන සිටියහ. සිහසුන අහිමි වීමේ අවදානම හමුවේ කුමාරවරු කෝට්ටෙන් පිටත සහාය සෙවූහ. බාලයා වූ මායාදුන්නේ උඩරට රජුගේ සහාය ලබාගැනීමට ගියේය. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මීගමුව අවටින් සහාය රැස් කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඟරාවක පළ වූ අධ්‍යයනයක සඳහන් වේ.
මාළිගාවේ රහස හෙළි කළ කුමරු
පිරිස් රැස් කරගත් කුමාරවරු විජයබාහු රජුට එරෙහිව කෝට්ටේ බලා පැමිණියහ. රාජාවලිය ඇසුරින් ලියැවුණු විස්තර අනුව, කුමාරවරුන් අල්ලාගැනීමට රජුගේ පිරිසක් සැඟවී සිටියහ. ඒ ගැන මායාදුන්නේට කීවේ සිහසුනට යෝජනා වී සිටි දේවරාජ කුමරුමය. වංශකතාවේ එන හැටියට ඒ වන විට ඔහු හත් හැවිරිදිය. තමන්ට සිහසුන ලබාදීමට සූදානම් වූ පාර්ශ්වයේ සැලසුම මායාදුන්නේට හෙළි කළේ ඒ කුඩා කුමරුය.
ඉන් පසු කුමාරවරුන්ගේ පිරිස් කෝට්ටේ නගරයට ඇතුළු වූ අතර රජ මැදුර ද කොල්ලකෑමට ලක් විය. විජයබාහු රජු මාළිගාව තුළදී ඝාතනය කෙරිණි. කෝට්ටේ සිහසුනට පත් වූයේ සහෝදරයන් අතර වැඩිමහල් කුමරුය. ඔහු හත්වැනි බුවනෙකබාහු නමින් රජ විය.
කෝට්ටේ, රයිගම සහ සීතාවක
බුවනෙකබාහු කෝට්ටේ අගනුවර තබාගෙන පාලනය කළේය. පරරාජසිංහ කුමරුට රයිගම හිමි විය. මායාදුන්නේ අද අවිස්සාවේල්ල ආශ්රිත සීතාවක සිය පාලන මධ්‍යස්ථානය කරගත්තේය.
විජයබාහු රජුට එරෙහිව එක්වූ සහෝදරයන් අතර එකමුතුව වැඩි කල් පැවතුණේ නැත. මායාදුන්නේ සීතාවක බලය තහවුරු කරගත් පසු කෝට්ටේ සිහසුනටත් හිමිකම් කීවේය. ඔහුගේ අභියෝගයට මුහුණ දීමට බුවනෙකබාහු පෘතුගීසීන්ගේ සහාය පැතීය.
ලිස්බන් නුවරදී ඔටුනු පැලඳූ කුමරුගේ ප්‍රතිමාව
බුවනෙකබාහු රජුට සිය මුණුබුරු ධර්මපාල කුමරු කෝට්ටේ සිහසුනේ උරුමක්කාරයා ලෙස පෘතුගාලයේ රජු ලවා පිළිගන්වා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ලිස්බන් නුවරට ගිය දූත පිරිස රැගෙන ගියේ ධර්මපාල කුමරුගේ කුඩා ප්රතිමාවකි. පෘතුගාලයේ තුන්වැනි ජුවාඕ රජු එම ප්‍රතිමාවට ඔටුන්නක් පැලඳවීය. එය කුමරුගේ අනාගත සිහසුන් උරුමයට පෘතුගාලයේ සහාය පළ කළ සංකේතාත්මක උත්සවයකි.
එම දූත ගමන නිරූපණය කරන කෝට්ටේ යුගයේ ඇත්දත් මංජුසාවක් අද ජර්මනියේ මියුනික් නුවර රාජකීය භාණ්ඩ එකතුවේ සංරක්ෂණය කර තිබේ. එහි ඉදිරිපස කැටයමක පෘතුගාලයේ රජු ධර්මපාල කුමරුට ඔටුනු පලඳවන අයුරු දැකගත හැකිය. විජයබා කොල්ලය ඇරඹුණේ කෝට්ටේ රජ පවුල තුළ සිහසුනට උරුමක්කාරයකු තෝරාගැනීමේ ආරවුලකිනි. ඊළඟ පරම්පරාවේ එම සිහසුන තහවුරු කරගැනීමේ අරගලය ලිස්බන් රජ මැදුර දක්වා ගිය හැටි ඒ කැටයමේ සටහන් වී තිබේ.




