1955 ජූනි 20 වැනිදා උදේ, ලංකාවේ ප්‍රදේශ රැසකට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය. ඒ මොහොත නිරීක්ෂණය කිරීමට විදෙස් පර්යේෂණ කණ්ඩායම් හිඟුරක්ගොඩ හා පොළොන්නරුව වැනි ප්‍රදේශවල කඳවුරු බැඳ සිටියහ. තවත් පිරිසක් ඒ මොහොත එනතුරු බලා සිටියේ වෙනත් හේතුවකටය. ඉර හඳෙන් වැසෙන විට වදකහ පානය කළොත් රූපය ලස්සන වන බවට කතාවක් පැතිර ගොස් තිබිණි.

ග්‍රහණයට පෙර දින, ජූනි 19 වැනිදා, ඉරිදා ලංකාදීපයේ මුල් පිටුවේ දේශීය වෛද්‍යවරයකුගේ සටහනක් පළ වී තිබිණි. ග්‍රහණය පවතින මොහොතේ වදකහ පානය කිරීමෙන් රූප ශෝභාව වැඩි වන බවත්, බුද්ධිය වර්ධනය වන බවත් එහි කියැවිණි. ග්‍රහණය ගැන ගුවන්විදුලියෙන් හා පුවත්පත්වලින් පුළුල් ලෙස කතාබහ කෙරුණු ඒ දිනවල, වදකහ පිළිබඳ මේ අදහසත් ජනතාව අතරට ගියේය.

ග්‍රහණය නිමා වූ පසු වදකහ පානය කළ ඇතැමුන් වමනය හේතුවෙන් ප්‍රතිකාර සොයා ගිය බව පසුකාලීනව පළ වූ ශාස්ත්‍රීය ලිපියක සඳහන් වේ. පැරණි පුවත්පත් සටහන් උපුටා දක්වන විස්තරවල කොළඹ, මහනුවර, ගාල්ල සහ මාතර ඇතුළු ප්‍රදේශවලින් ප්‍රතිකාර සඳහා පැමිණි පිරිස් ගැන ද සඳහන්ය.

එදා විද්‍යාඥයන් මුහුණ දුන්නේ වෙනත් අකරතැබ්බයකටය. ඉන්දීය නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තාවට අනුව, හඳෙන් ඉර මුළුමනින්ම වැසුණු මොහොතේ හිඟුරක්ගොඩ හා පොළොන්නරුවට ඉහළින් වලාකුළු පැවතිණි. ඒ නිසා එහි කඳවුරු බැඳ සිටි කණ්ඩායම් කිහිපයකට සූර්යයා වටා දිස්වන දීප්තිමත් වළල්ල ඔවුන් සැලසුම් කළ පරිදි නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

1955 ජූනි 20 ග්‍රහණය නාසා වාර්තාවල දැක්වෙන්නේ විසිවැනි සියවසේ දීර්ඝතම පූර්ණ සූර්යග්‍රහණය ලෙසය. ලංකාවේ ඒ උදෑසන ගැන තවත් මතකයක් බයිලා ගීයකින් පරම්පරා ගණනක් අතරට ගියේය. ඒ ‘බිව්ව නේද වදකහ සුදිය’ යනුවෙනි.